ට‍්‍රම්ප් අත්සන තබයි.. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වේ...

 වසරක අනිවාර්ය දැනුම්දීමේ කාලසීමාව අවසන් කරමින්, අමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වී තිබේ. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භයේදීම අත්සන් කරන ලද විධායක නියෝගයකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක විය.

ඉවත් වීමට හේතු ජනාධිපති ට්‍රම්ප් පවසන පරිදි, මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පිරිවැය කපා හැරීමයි. "ලෝක සෞඛ්‍ය සංවිධානය අපව සූරාකෑවා, සෑම කෙනෙකුම අමෙරිකාව සූරාකනවා, එය තවදුරටත් සිදු වීමට ඉඩ දිය නොහැකියි" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. 

අමෙරිකාවට අනවශ්‍ය ලෙස අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත්, චීනය වැනි රටවල් වැඩි ජනගහනයක් සිටියදීත් අමෙරිකාවට වඩා 90% කට වඩා අඩු දායකත්වයක් ලබා දෙන බවත් ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරයි.


මීට අමතරව, කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීය සෞඛ්‍ය අර්බුද පාලනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත් වූ බවට සහ එය දේශපාලන බලපෑම්වලට යටත් වී ඇති බවටද ඔහු දැඩි විවේචන එල්ල කළේය. 

අමෙරිකානු සම්පත් දේශීය අවශ්‍යතා වන යටිතල පහසුකම්, හමුදා සූදානම සහ දේශසීමා ආරක්ෂාව සඳහා යොමු කිරීම ට්‍රම්ප්ගේ ප්‍රමුඛතාව වී ඇත.

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන අතර, වාර්ෂිකව ඩොලර් මිලියන 160 සිට 815 දක්වා ආධාර සපයයි. විශේෂඥයන් අනතුරු අඟවන්නේ අමෙරිකාව ඉවත් වීම නිසා පෝලියෝ මර්දනය, මාතෘ සහ ළමා සෞඛ්‍ය වැඩසටහන් අඩාල විය හැකි බවයි.

නව වසංගත හඳුනාගැනීමේ සහ නිරීක්ෂණය කිරීමේ හැකියාව දුර්වල වී ලෝකය පුරා මාරාන්තික රෝග පැතිරීමේ අවදානම වැඩි විය හැකි බවයි.

2024-25 මූල්‍ය වර්ෂය සඳහා අමෙරිකාව ගෙවිය යුතු ඩොලර් මිලියන 228 ක මුදල මෙතෙක් ගෙවා නොමැති බවද වාර්තා වේ.

මෙම තීරණය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ අමෙරිකාව සමඟ වසර 70ක් පුරා පැවති සහයෝගීතාව හරහා වසූරිය තුරන් කිරීමටත්, පෝලියෝ රෝගය අවසන් අදියරට ගෙන ඒමටත් හැකි වූ බවයි. 

පසුගිය වසර හත තුළ සංවිධානය තුළ විශාල ප්‍රතිසංස්කරණ රැසක් සිදු කර ඇති බව පෙන්වා දෙන එම සංවිධානය, අමෙරිකාව සිය තීරණය නැවත සලකා බලනු ඇතැයි බලාපොරොත්තු පළ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අමතරව, ට්‍රම්ප් පරිපාලනය තවත් ජාත්‍යන්තර ආයතන 35කින් සහ එක්සත් ජාතීන්ගේ ආයතන 31කින් ඉවත් වීමට සැලසුම් කර ඇත.