පිස්සු බල්ලෙක් උතුරු කළුතර කළඹයි

 

ජල භීතිකා රෝගය වැලඳී ඇතැයි සැක සහිත අයාලේ යන සුනඛයෙකු ඉකුත් සතියක පමණ කාලයක් තිස්සේ උතුරු කළුතර ප්‍රදේශයේ සැරිසරමින් ළමුන්, කාන්තාවන් ඇතුළු 11 දෙනකු සපා කා ඇතැයි කළුතර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට පැමිණිල්ලක් ලැබී තිබිණි.


උතුරු කළුතර, කැලිඩෝ පාරේ මහෙස්ත්‍රාත් නිල නිවස ආසන්නයේ ලඳු කැලෑවක රැඳී සිටින මෙම සුනඛයා මාර්ගයේ යන එන අය සපා කෑමට පුරුදුව ඇතැයි ද මේ වන විට ප්‍රදේශවාසීන් එම මාර්ගයේ ගමන් කිරීමට පවා බියක් දක්වති. මේ හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ගේ දෛනික රාජකාරි කටයුතුවලටද බාධා එල්ලවී ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති. සුනඛයා සපා කෑමෙන් තුවාල ලැබූවන් මේ වන විට කළුතර ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පැමිණිලි පිළිබඳව සොයා බැලූ කළුතර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක නිර්මල, ජල භීතිකා රෝගය වැලඳී ඇතැයි සැක කෙරෙන මෙම සුනඛයා පොලිස් නිලධාරීන් යොදවා අල්ලා විනාශ කිරීමට කටයුතු කරන ලෙස උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වාගෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදු කර ඇත.