නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීමේ චෝදනාව: ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන්ට උසාවියේ පෙනී සිටින ලෙස නියෝගයක්
නේවාසික රෝගියකුට නියමිත මිලට වඩා වැඩි මිලකට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වන චෝදනාවන් කියවා දීම සඳහා, ආසිරි පෞද්ගලික රෝහලේ (Asiri Hospital) අධ්‍යක්ෂවරුන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය අද නියම කළාය.
මෙම නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් (time-barred) පසුව බවටත්, එබැවින් එය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යෑමට නොහැකි බවටත් විත්තිකාර ආසිරි රෝහල සහ එහි අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා මූලික විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණි.
එම මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, විත්ති පාර්ශ්වයේ විරෝධතා ප්‍රතික්ෂේප කළ අතර, අදාළ චෝදනා පත්‍ර බාරදීම සහ කියවා දීම සඳහා ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය උසාවියට කැඳවීමට නියෝග කළාය.
එලෙස අධිකරණයට කැඳවන ලද්දේ ආසිරි රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරුන් වන:
* අශෝක පතිරගේ
* මංජුල කරුණාරත්න
* සුදර්ශන් අහංගම
* හැරිස් ප්‍රේමරත්න
* සිවකුමාර් සෙල්ලයියා
* හරේෂ් කුමාර් කයිමාල්
* අජිත් කරුණාරත්න
* ඉන්දියානු ජාතිකයින් වන විශාල් බාලී සහ අන්තූර් නාන්ද් තදානි
* රෝහල් සේවිකාවක වන බී.ඩී. සඳතිසරු
යන අයයි.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ආසිරි රෝහලේ ඉහත නම් සඳහන් අධ්‍යක්ෂවරුන් කිසිවකුත් අධිකරණයේ පෙනී නොසිටි අතර, රෝහලේ නියෝජිතවරයකු සහ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු මහත්මිය පමණක් අධිකරණයේ පෙනී සිටියහ.
නුගේගොඩ, හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පැවැත්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර මහතා විසින් ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.