කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාර පාන පිළිගන්වන සේවිකාවක් වශයෙන් කටයුතු කරන වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද කවර කාන්තාවකට වූවද රාත්‍රි සේවා කටයුතුවල නිරතවීමට හැකි පරිදි කම්කරු ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඉකුත් ජනවාරි මස 30 වැනිදා නිකුත් කරන ලද අංක 2473/25 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව, “කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාර පාන පිළිගන්වන සේවිකාවක් වශයෙන් අවුරුදු දහඅටට එළැඹ සිටින කවර ස්ත්‍රියක් වුවද පස්වරු 6 ට පසු හෝ පසුදින පෙරවරු 6 ට පෙර සේවයේ යෙදීමට හැකිය.’’ යනුවෙන් සඳහන් කර තිබේ.
1954 සාප්පු සහ කාර්යාලයීය සේවක (සේවක හා වේතන විධිමත් කිරීමේ) නියෝගවල 3 වැනි නියෝගය, එම නියෝගයේ “හෝ කාන්තා වැසිකිළි සේවිකාවක් වශයෙන් අවුරුදු 18 ට එළැඹ සිටින කවර ස්ත්‍රියක් වුවද පෙරවරු 6 ට හෝ පස්වරු 6 න් පසුව සේවයේ යෙදවිය හැකිය.’’ යන වචන වෙනුවට ඉහත කොටස ආදේශ කර එය තවදුරටත් සංශෝධනය කර තිබේ.
එමෙන්ම, යම් ස්ත්‍රියකගේ සේවා මුරය පස්වරු 6 ත් පසුදින පෙරවරු 6 ත් අතර වේලාවක අවසන්වන අවස්ථාවකදී, එම සේවා මුරය අවසන්වූ අවස්ථාවේ සිට පෙරවරු 6 දක්වා එම ස්ත්‍රියට සුදුසු නවාතැන් සැපයීම හෝ එම ස්ත්‍රියගේ සුපුරුදු වාසස්ථානය වෙත යාමට ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළුව එම ස්ත්‍රියගේ සෞඛ්‍යාරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් සේවායෝජකයා කටයුතු කළයුතු බවද අති විශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
