ග්‍රහ ලොව සිදුවෙන වෙනස්කම් එක්ක, මේ වසර සහ ලබන වසර ගෙවී යන්නේ කොහොමද..? ජෝතිශ්‍ය ඇසකින් මෙන්න ඒ ගැන විශේෂ හෙළිදරව්වක්..



අපි ගෙවා දමන ඉදිරි කාලය මොන වගේ වේවිද කියලා ඇතැම් වෙලාවට ජෝතිශයට අනුව පූර්ව කතනයන් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. 


මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්. 2026 වසරේ තවමත් ගතවුණේ එක් මාසයක් පමණයි. ගෙවී යන ඉදිරි කාලය මොන වගේ වේවිද..? ඒ වගේම එළඹෙන 2027 වසර ගැනත් මෙන්න මේ වගේ ආරංචියක් තමයි දැනගන්න ලැබෙන්නේ.

විෂ්ණු විංශතියට අයත් විෂ්ණු යුග පක්‍ද්චවේදයෙහි පස්වන ඉද්වත්සර භේද නාමධාරි දේවාධිපති ශිව හිමි "පරාභව" නම් වූ සංවත්සරය 2026 අප්‍රේල් 14 කුජ දිනයේ සිට ආරම්භ වේ. "පරාභව" යන නාමය ඇසූ පමණින් මතකයට එන්නේ අප සම්මා සම්බුදු හිමියන් පෙන්වා දුන් පිරිහීමේ කරුණු ඇතුළත් "පරාභව" සූත්‍රයයි. එසේ නම් මෙම පිරිහීම අපට සිදුවන්නේ කෙසේද කියා පවතින ග්‍රහ තත්ත්වය අනුව ජ්‍යොතිෂාත්මකව සොයමු. ක්‍රි.ව. 2026 ක්වූ අප්‍රේල් 14 කුජ දින වනවිට ලංකා කේන්ද්‍රයේ ග්‍රහ තත්ත්වය මේ ආකාරයෙනි.

අලුත් අවුරුද්ද සමරන විට පවතින මෙම ග්‍රහ තත්ත්වය කාලසර්ප යෝගයට හසුවීම ලක් ජනතාව පරාභවයට ලක්වීම සිදු නොවන්නේද යන්න ඔබම සිතාබලන්න. දඩබ්බර රාහු සමග සිටින චන්‍ද්‍රයා දුර්වල තත්ත්වයෙන් සිටින අතර, එයින් දෙවැන්නේ සෙනසුරු කුජ මාරකස්ථාන ගතවී සිටීම හා දරුණු ඒරාෂ්ටක සංයෝගය අනුව ජනතාවට සෙතක් වේද? පීඩාවට පත්වී සිටින ජනතාව නියෝජනය කරන සෙනසුරු මේ ආකාරයෙන් තව තවත් පීඩාවීම අනුව වසර පුරාවටම දරුණු පිරිහීමකට ලක්වීම නම් නියත බව මෙම ග්‍රහ යෙදුමෙන් පෙනේ. රාහු සමග දුර්වල චන්‍ද්‍රයා කුම්භ රාශියේ යෙදීම නිසා සිංහල අවුරුදු මැද ජල විපතක මතුවීමක් ක්‍ෂණිකව හිටි අඩියේ වර්ෂාව සමග ඇතිවන බව පෙන්වා දෙමි. විශේෂයෙන් අප්‍රේල් 19 දින සඳුගේ සහ සිකුරුගේ වෘෂභ ග්‍රහ ගෝචරය අනුව තදබල වර්ෂා පීඩනයකට මුහුණදීමට සිදුවන බව පෙනේ. අප්‍රේල් 12 වැනි දින සඳු කුම්භ රාශියේ ගෝචරය සමග නිරිත දිග මෝසම් වැසි සමය හේතුකොට ගෙන මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවේ. විශේෂයෙන් ලංකාවේ බස්නාහිර, සබරගමු පළාත්වල ගංගා ඇළ දොළ පිරී ඉතිරී යෑම සමග අධික ජල ගැලීම් සමූහයක් ඇතිවී විපත් සිදුවේ. ජනතාවට අධික පීඩනයකට මුහුණ දීමට සිදුවේ. මේ අතරතුර විරුද්ධ විපක්ෂ කණ්ඩායම්වල පිබිදීමක් ඇතිවන අතර රවි, සිකුරු තුන් වැන්නේ ගමන් කිරීම මෙම තත්ත්වයට හේතුවේ.

කෙසේ නමුත් මෙම කාලසීමාව තුළ රටේ මහජනතාව අතර ලොකු කුඩා බොහෝ දෙනා පාපකාරී සිතුවිලිවලට මැදිවී කුකුළන් වැනි සතුන් ලක්‍ෂ ගණන් මරමින් අවුරුදු කෑම මේසය සම්පූර්ණ කරනු ඇත. ඒ අතරතුර මත්පැන්වල ක්‍රියාකාරීත්වය මැද රණ්ඩු කෝලාහල, තුවාල කරගැනීම් සීමාවක් නැතිව සිදුවේ. කුඩා ළමුන් අනියම් ක්‍රියාවලට මැදිවේ. මේ ආකාරයට රට තුළ ධාර්මික සිතුවිලි පහවී ගොස් පන්සල, සිද්ධස්ථාන අමතක වන දින කීපයක් අප්‍රේල් 28 දක්වා කාලසර්ප යෝගයෙන් සිදුවේ. කෙසේ වෙතත් රට තුළ සෑම අංශයකින්ම පිරිහීම ආරම්භ වේ. ආගමික වශයෙන් සිද්ධස්ථාන කරා යන බෞද්ධ තරුණ කොටස් බොහෝදුරට අඩුවේ, යන්නේ වයසක අම්මලා පමණි. සංගීත සංදර්ශනවලට සොය සොයා තරුණ තරුණියෝ ඇදෙති. මෙයයි තත්ත්වය. පරාභව සංවත්සරයේ හැටි මෙහෙමයි කියා සිතීමට කාලය වහ වහා එළැඹෙමින් පවතී. සෙනසුරු නැවත මීන රාශිය තුළම ජූලි මස 27 වැනි දින රේවතී නැකතේ දෙවැනි පාදයේ දී වක්‍ර ගමන ආරම්භ කරයි. මෙය සිදුවන්නේ මකර නවාංශකයේය. ඊට සමගාමීව අගෝස්තු 12 වැනි දින පූර්ණ සූර්යග්‍රහණයක් කටක රාශිය තුළ සිදුවේ.

ඒ වනවිට කටක ජල රාශියේ ගමන් කරන ගුරු අගෝස්තු 15 දින බුධ සමග යුදවැදී පරාජයට පත්වේ. මෙම ග්‍රහ තත්ත්වය යටතේ වායු ගෝලයේ කැලඹීම් සමග අධික වර්ෂා සහිතව දින කීපයක් ගත කිරීමට සිදුවීමත්, ගංගා පිරී ඉතිරී යෑම සමග ගංවතුරකට මුහුණදීමටත් සිදුවේ. මේ නිසා ආපදාවට ලක්වන විශාල පිරිසකට නැවත ආධාර දීමට සිදුවේ. මේ ආකාරයට ලංකා කේන්ද්‍රයේ සෙනසුරුගේ ඒරාෂ්ටක ග්‍රහ ගෝචරය සහ රාහුගේ විනාශකාරී දොළොස්වැන්න වූ මකර රාශිය කරා ගමන් කරන 2026 දෙසැම්බර් 5 දක්වා කාලය සහ ඉන්පසුවත් 2027ත් ශ්‍රී ලංකා වාසී ජනතාවට ඉතා කටුක දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුවන බව පවසමි. විශේෂයෙන් ස්වභාව ධර්මයෙන් දෙන දඬුවම් විඳීමටම සිදුවේ. 2026 දෙසැම්බර් 05 දායින් පසුව රාහු 12 වැන්න වූ මකර රාශියට වසර 18කට පසුව පැමිණීම ද කෙසේවත් සුබදායක නොවන අතර රට තුළ සිදුවන ජනතා සිදුවීම් දැකීමට අප්‍රිය සහගත වේ. පාලක පක්ෂයට ද එතරම් සැනසිලිදායක වර්ෂයක් නොවේ.

2027 ජුනි 3දා ලංකා කේන්ද්‍රයේ ඒරාෂ්ටකය අවසන් කර සෙනසුරු මේෂ රාශියට පැමිණේ. මෙය සුබදායක ග්‍රහ ගමනක් වුවත් රාහු 2028 ජූලි 24 දක්වා ලංකා කේන්ද්‍රයේ විනාශකාරී 12 වැන්නේ සිටීම ජනතාවගේ අහේනියට හේතුවේ. ස්වභාවධර්මයේ විපාක දඬුවම් තවත් උග්‍ර අතට හැරේ. සෙනසුරු ගමන් කරන මේෂ රාශිය තනිකර වියළි ශුෂ්ක රාශියක් නිසා රට තුළ අධික නියං සමයක් ඇති වී ගහකොළ,

ගොවිතැන් විනාශය කරා යොමුවනු ඇත. ජල හිඟය ඇතිවේ. සතා සිව්පාවා පවා මිය ඇදෙනු ඇත. විශේෂයෙන් මෙම අසුබ ග්‍රහ තත්ත්වය මත රට තුළ ආර්ථික පසුබැස්ම තව තවත් උග්‍ර අතට හැරේ. රට තුළ කටයුතු සඳහා විදේශ රටවලට අත දික්කිරීමට තව තවත් සිදුවේ. මේ අතරතුර රට තුළ විපක්ෂ කණ්ඩායම්වල මානසික අභිලාෂයන් ඉටුකර ගැනීමට රාහුගේ දොළොස් වැන්නේ ගමන බොහෝදුරට ඉවහල් වේ. ස්වභාව ධර්මයේ විපත් මත සිදුවන ආර්ථික පසුබැස්ම ඊට හේතුවේ.

කෙසේ නමුත් රට තුළ මහජනතාවගේ බෞද්ධාගමික මුහුණුවර වෙනස් වෙන්ට වෙන්ට අනියම් ආකාරයෙන් ස්වභාව ධර්මයෙන් පවා විපාක දෙන බව පැහැදිලි වන කාලයක් දැන් එළැඹී ඇති ආකාරය පෙනේ. මෙය අද ඊයේ පමණක් ඇති වූ දෙයක් නොවේ. එම නිසා බුදුන් වහන්සේ තුන් වරක් වැඩිය මෙම පුංචි ශ්‍රී ලංකාවේ ආගමික භක්තිය භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසම දැනට වඩා වැඩිදියුණුකර ගතයුතු බව අප වටා ඇති විශ්වයෙන් පෙන්නුම් කරමින් සිටී. ඒ අනුව ප්‍රාණ ඝාතය ඇතුළු පස් පව්වලින් මිදීම ප්‍රධාන වේ. මෙම කරුණු සියලු දෙනාගේ යහපතට හේතු වේවා.

දිවයින පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙන්..