ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයේ (CPI) ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව රටවල් 14ක් අභිභවමින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව නවතම දූෂණ සංජානන දර්ශකයේ නිවේදනයට අනුව, ශ්‍රී ලංකාව 2024 දී 121 වන ස්ථානයේ සිට 2025 දී 107 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර එය 2024 වසර වසරේ ලද ලකුණු ප්‍රමාණයට වඩා +3ක වර්ධනයක්.
ලෝකයේ රටවල් 181 ත් අතරින් 107 ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.
දූෂණ සංජානන දර්ශකය (CPI) යනු ලෝකයේ බහුලව භාවිතා වන ගෝලීය දූෂණ ශ්‍රේණිගත කිරීමක් වන අතර එය එක් එක් රටේ රාජ්‍ය අංශය කෙතරම් දූෂිතද යන්න මනිනු ලබයි.
රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම් අනුව දූෂණ සංජානන දර්ශකයේ රටවල් 181 ක් ශුන්‍ය (ඉතා දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) දක්වා ශ්‍රේණිගත කරනු ලබනවා.
අඛණ්ඩව අටවන වසරටත්, ඩෙන්මාර්කය දර්ශකයේ ඉහළම ලකුණු (89) ලබා ගත අතර ෆින්ලන්තය සහ සිංගප්පූරුව එහි ඉහළින් රැඳී සිටින රටවල් බවට පත්ව තිබෙනවා.
අඩුම ලකුණු ඇති රටවල් අතර දකුණු සුඩානය (9), සෝමාලියාව (9) සහ වෙනිසියුලාව (10) පසුවනවා.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පවසන්නේ ගෝලීය වශයෙන් දූෂණය නරක අතට හැරෙමින් පවතින බවත්, ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පවා නායකත්වයේ පරිහානිය මධ්‍යයේ දූෂණය ඉහළ යන බවයි.
මෙම දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් සඳහා ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම් සහ ප්‍රමුඛ පෙළේ විද්වත් මණ්ඩල ඇතුළු ස්වාධීන බාහිර මූලාශ්‍ර 13 ක දත්ත උපයෝගී කරගනු ලබනවා.
මෙහිදී දර්ශකයට අදාල කරගන්නා රටවල් හා පාලන ප්‍රදේශවලට 0 සිට 100 දක්වා වූ පරිමාණයකින් ලකුණු ලබා දෙන අතර, “0” මගින් හෝ ආසන්න අගයක් හිමි ලකුණකින් අදාල රාජ්‍යයේ, රාජ්‍ය අංශය වඩාත් දූෂිත බවට සංජානනය වන බවත්, “100” හෝ ආසන්න අගයක් හිමි ලකුණකින් අදාල රාජ්‍යයේ, රාජ්‍ය අංශය වඩාත් දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය තන්ත්‍රයක් බවට සංජානනය වන බවත් නිර්වචනය කරනු ලබයි.
