නිවාසලාභීන් ආරක්ෂා කිරීමේ නව පනත ගැන අලි සබ්රිගෙන් අනතුරු ඇඟවීමක්

 යෝජිත 2025 නිවාසලාභීන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (Protection of Occupants Bill) දැනට පවතින ආකාරයෙන් සම්මත වුවහොත්, මෙරට නිවාස කුලී වෙළඳපොළට සහ ආර්ථිකයට බරපතළ හානියක් සිදුවිය හැකි බව හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.




නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, කුලී නිවැසියන් අනිසි ලෙස ඉවත් කිරීම වැළැක්වීම යහපත් අරමුණක් වුවද, මෙම නව නීතිය හරහා නිවාස හිමියන් දැඩි අපහසුතාවයට පත්වන බවයි.


කුලී නිවැසියෙකු මාසික කුලිය, ජල සහ විදුලි බිල්පත් හෝ සහාධිපත්‍ය (Condominium) නඩත්තු ගාස්තු ගෙවීම පැහැර හැරියද, නඩු කටයුතු නිමවන තෙක් ඔවුන්ට අත්‍යවශ්‍ය සේවා සැපයීමට නිවාස හිමියාට සිදු වනු ඇති බවත් මෙය හිමිකරු ලවා බලහත්කාරයෙන් නිවැසියා නඩත්තු කරවීමක් බවයි ඔහු පවසන්නේ.

නිවාස හිමියන් සිය දේපළ කුලියට දීමට බිය වීම නිසා නිවාස සැපයුම අඩුවීම, කුලී මිල ඉහළ යාම සහ අවසානයේ කුලී නිවැසියන්ටම මෙහි අහිතකර පල විපාක විඳීමට සිදුවන බව ඔහු පෙන්වා දෙන්නේ.

2023 අංක 1 දරන බදු පනත යටතේ දී ඇති පරිශ්‍රයන්හි පවරා ගැනීම් නැවත ලබා ගැනීමේ පනත හරහා මෙරට ලබාගත් ප්‍රගතිය මෙමගින් ආපසු හැරවෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

මේ අතර අලි සබ්රි යෝජනා කරන්නේ නව පනතක් ගෙන එනවා වෙනුවට 2023 පනතට සංශෝධන එක් කළ යුතු බවයි. 

එහිදී කුලී නිවැසියෙකුට නෛතික ආරක්ෂාව ලැබිය යුත්තේ ඔහු සිය කුලී මුදල් සහ බිල්පත් නිසි ලෙස ගෙවන්නේ නම් පමණක් බව හෙතෙම අවධාරණය කරනවා.

මේ අනුව "No payment, no protection" ( ගෙවීමක් නැත්නම් ආරක්ෂාවක් නැත) යන මූලධර්මය මත නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඔහුගේ අදහසයි.


මේ හේතුවෙන් ප්‍රතිසංස්කරණ යන නාමයෙන් මෙරට නැවතත් යල් පැන ගිය කුලී නීති රෙගුලාසි වෙත ගමන් නොකළ යුතු බවයි ඔහු බලධාරීන්ට පෙන්වා දෙන්නේ.