ස්මාර්ට් දේශපාලනය (Smart Politics) වැලඳගත හැකි නව පරපුරේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බව පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේදී පැවැති 'SMART UNP' ඩිජිටල් වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
"මගේ වයස අවුරුදු 70 ඉක්මවා තිබෙනවා. මෙතැන 60 සහ 50 වයස්වල අයත් ඉන්නවා. නමුත් දැන් කාලය පැමිණ තිබෙන්නේ සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් 'සෙන් බීටා' (Zen Beta) පරපුරට පක්ෂය සහ දේශපාලනය බාර දීමටයි."
අතීත නායකයින් විවිධ පරම්පරා සඳහා රට සූදානම් කළ බව සිහිපත් කළ හිටපු ජනපතිවරයා ඩී.එස්. සේනානායක 'බේබි බූමර්ස්' (Baby Boomers) පරපුරටත්, ජේ.ආර්. ජයවර්ධන 'මිලේනියල්' (Millennial) පරපුරටත් රට සූදානම් කළ බවත්, දැන් තමාගේ වගකීම වන්නේ පක්ෂය නවීන තාක්ෂණය සමග ඉදිරියට ගෙන යා හැකි තරුණ පිරිසට භාර දීම බවත් පැවසුවා.
අනාගත දේශපාලනය සඳහා 'වර්චුවල් රියැලිටි' (Virtual Reality) වැනි නවීන තාක්ෂණයන් වැලඳගත යුතු බවත්, ඒ සඳහා පක්ෂය තුළ 'ඩිජිටල් පරිපාලක' (Digital Administrator) සහ 'ඩිජිටල් සංවිධායක' (Digital Organizers) වැනි නව තනතුරු ඇති කරන බවත් ඔහු අනාවරණය කළා.
ට්‍රම්ප්ගේ ලෝකය, චීනයේ බලපෑම සහ ඉන්දියාව සුපිරි බලවතෙකු ලෙස නැගී ඒම වැනි ගෝලීය දේශපාලන තත්ත්වයන්ට මුහුණ දිය හැකි නායකත්වයක් රටට අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
'SMART UNP' වැඩසටහන යටතේ සිරිකොත මූලස්ථානය ස්ටාර්ලින්ක් (Starlink) තාක්ෂණය ඔස්සේ අධිවේගී අන්තර්ජාල පහසුකම්වලින් සන්නද්ධ කෙරෙන අතර, පක්ෂ සාමාජිකයින් සඳහා නව 'ඩිජිටල් සාමාජික කාඩ්පත්' හඳුන්වා දීමට ද නියමිතව තිබෙනවා.
