වැල ගෙඩියේ මාරයා දැරිය බිලිගනී

 




මාර්ගයේ වැටී ඇති වැල ගෙඩියක් මත යතුරුපැදියක් ලිස්සා යාමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබ සිටි වයස අවුරුදු දෙකයි මාස 11ක් වයසැති දැරියක් මහනුවර ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල අත්තනගොඩ කරඩුපන වත්තේ පදිංචිව සිටි දැරියකි.


පියා සහ මව මෙම දැරිය සමගින් කෑගල්ල මොළගොඩ හරහා අත්තනගොඩ මාර්ගයේ ගමන් කරමින් සිටියදී මොළගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී මෙම අනතුර සිදුව ඇත.


පියා කෑගල්ල ගලිගමුව කාර්මික විද්‍යාලයේ උපදේශකවරයකු ලෙස කලක සිට සේවය කරන බවත් ඉකුත් 02 වැනිදා පෙරවරුවේ උපදේශකවරයා සිය බිරිඳ යතුරුපැදියේ පිටුපස අසුනේද වයස අවුරුදු දෙකයි මාස 11ක් වන දියණිය හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියේ ඉදිරිපසද තබාගෙන කරඩුපන වත්ත නිවසේ සිට කෑගල්ල බලා අධික බෑවුම් සහිත කන්ද පහළට යතුරු පැදිය පදවා ඇති බව පොලිසිය පැවසීය.


යතුරු පැදිය ලිස්සා ගොස් පෙරළී දැරිය බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබිණි. කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර සිටි දැරිය වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යවා මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (09 වැනිදා) අලුයම මියගොස් තිබිණි.


මිය ගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (09 වැනිදා) මහනුවර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සේනසිංහ විසින් සිදු කෙරිණ. රිය අනතුරක් හේතුවෙන් හිසට සිදුව තිබුණු හානි මරණයට හේතුව බවට මහනුවර හදිසි මරණ පරීක්ෂක නෝමන් කොස්තා තීන්දු කෙරිණ.


මිය ගිය දැරිය පවුලේ එකම දරුවා බවත් දැරියගේ හදිසි මරණය අසා පියා කම්පනයට පත් වී වස පානය කර කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර කෑගල්ල මහ රෝහලේ අංක 06 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය පැවසීය. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලිසිය පැවසීය.


35 හැවිරිදි බාල ක්‍රිෂ්ණන් දිනේෂ් කුමාර නමැති පියාගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පැවසීය.


කෑගල්ල වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.කේ.කේ. සේනානායක රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් වැන්ඩර්ලන් පොලිස් සැරයන්වරුන් වන (75126) අබේකෝන් (66217) යන නිලධාරින් විමර්ශන කටයුතු සිදුකර තිබිණි.