අම්පාර - සියඹලාණ්ඩුව මාර්ගයේ බිහිසුණු අනතුරක්: තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

 අම්පාර - සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ පැමිණිගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ඊයේ (14) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.




හිගුරාණ දෙස සිට දමන දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එනම් දමන දෙස සිට පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වන බව පොලිසිය සඳහන් කරනවා.

අනතුර සිදුවූ අවස්ථාවේදී යතුරුපැදියේ ගමන් කළ පැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 20 සහ 22 යන වයස්වල පසුවූ අක්කරයිපත්තුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක්.

ඔවුන්ගේ මෘත ශරීර මේ වන විට අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට අම්පාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සඳහන් කරන්‍නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දමන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබනවා.