වලස්මුල්ල ප්‍රදේශයේදී බළලෙකුට අතිශය අමානුෂික ලෙස වධහිංසා පමුණුවා එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහළ 26 හැවිරිදි නිවිතිගල ප්‍රදේශයේ තරුණයා, ලබන පෙබරවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ සංසරණය වීමත් සමඟ සත්ත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන සහ මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ වහා ක්‍රියාත්මක වූ පොලිසිය, පූසාට වධ දුන් බව කියන සැකකරු පසුගිය පෙබරවාරි 08 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
සැකකරු දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද වලස්මුල්ල පොලිසිය වෙත විශේෂ නියෝගයක් නිකුත් කර ඇත. මෙම සිදුවීමත් සමඟ සත්ත්ව හිංසනයට එරෙහිව පවතින නීති රීති වඩාත් දැඩිව ක්‍රියාත්මක විය යුතු බවට සමාජය තුළ පුළුල් කතිකාවතක් නිර්මාණය වී ඇති අතර, හුදු සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය උදෙසා තිරිසන් සතුන්ට වධ දෙන මෙවැනි පුද්ගලයින්ට එරෙහිව නීතියේ රැහැන දැඩිව ක්‍රියාත්මක වීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.
