Pilawoos බම්බලපිටිය ආහාර වේලක කුඩා සර්පයෙකු සිටි බවට චෝදනාවක්!

 බම්බලපිටිය පිළැවූස් (Pilawoos) අවන්හලෙන් ලබාගත් ආහාර වේලක කුඩා සර්පයෙකු සිටි බවට පුද්ගලයෙකු කළ ප්‍රකාශයක් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.



අදාළ වීඩියෝවේ ආහාර වේල තුළ සර්පයෙකුගේ හිසට සමාන යමක් දක්නට ලැබේ. වීඩියෝව පළ කළ පුද්ගලයා පවසන්නේ අද (12) උදෑසන මෙම ජනප්‍රිය අවන්හලෙන් ආහාර ගන්නා අවස්ථාවේදී මෙය හමු වූ බවයි.

කෙසේ වෙතත්, බම්බලපිටිය පිළැවූස් කළමනාකාරිත්වය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, තම ආයතනය තුළ මෙවැනි සිදුවීමක් වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බව ඔවුන් ප්‍රකාශ කරයි.

"අපේ පාර්ශවයෙන් මෙවැනි දෙයක් වෙන්න කිසිම විදියකින් ඉඩක් නැහැ," යැයි අවන්හල් කළමනාකරු පවසා ඇත.

මෙම වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) කරුණු සොයා බැලීම සඳහා ආයතනය වෙත පැමිණි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම, අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු (Social media influencer) බවත්, මෙය ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා හිතාමතා කළ නිර්මාණයක් විය හැකි බවත් පාරිභෝගිකයින් කිහිප දෙනෙකු තමන්ට දැනුම් දුන් බව කළමනාකරු සඳහන් කළේය.

මේ අතර, කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ. ශ්‍රීප්‍රතාපන් මහතා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති වුවද බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.


"අපි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා, ඒ වගේම සාම්පල ලබා ගැනීමටත් කටයුතු කරනවා. කිසියම් සනීපාරක්ෂක ගැටලුවක් අනාවරණය වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වන්නේ නැහැ," යැයි වෛද්‍ය ශ්‍රීප්‍රතාපන් පැවසීය.


සති කිහිපයකට පෙර ද එම අවන්හලේ ඉදිකිරීම් වෙමින් පවතින මුළුතැන්ගෙය ආශ්‍රිතව පැවති සනීපාරක්ෂක ගැටලු කිහිපයක් හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන දඩ මුදල් අය කරගත් බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම දැනට ක්‍රියාත්මක පරීක්ෂණ සහ රසායනාගාර වාර්තා මත තීරණය වන බව ඔහු සඳහන් කර ඇත.